Monday 2nd of February 2026

English Tamil
Advertiesment


බංග්ලාදේශයට මල් මිටක්


2026-01-24 1233

 

කොන්ද කෙලින් තියෙන්නේ බංගලි ක්‍රිකට්වල විතරද..?

 

බංග්ලාදේශය 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා නොකරාවි. ඉන්දියාව තුළ ක්‍රීඩා කිරීමට ඔවුන් අකමැති වීමත්, කිසිඳු විසඳුමක් එයට නොලැබීමත් සමගම බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් වන බව නිවේදනය කළා.

බංග්ලාදේශයත් එක්කම මිලියන 200 ක් වන ඔවුන්ගේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ලෝක කුසලාන නැරඹීමත් අවසන් බව ඔවුන් කියලා තියෙනවා.

මේක බංග්ලාදේශය නෙමෙයි කවුරු කළත් මටනම් මේ මොහොතේ අතිශය ඓතිහාසික අවස්ථාවක්. ඒකට ප්‍රධාන හේතුව තමයි බංග්ලාදේශය මේ අභියෝග කරන්නේ වර්තමානයේ ක්‍රිකට් කියන්නේ තමන්ගේ පෞද්ගලික බූදලයක් කියලා හිතන් ඉන්න රටකට එරෙහිව.

ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් මිසක් දේශපාලන කරුණු වලින් පෙඟුන තැනක් නෙමෙයි. ක්‍රීඩාවකට කොහොමත්ම දේශපාලනය අදාල වෙන්නේ නෑ. හැබැයි ඉන්දියාව ඊට හාත්පසින්ම වෙනස් ඇජෙන්ඩා එකක් මේ දවස් වල ක්‍රියාත්මක කරනවා.

ඒ තමයි තමන්ගේ දේශපාලන සතුරන් සමග ක්‍රිකට් පිටියේදී ගැටීම. තමන්ගේ තියෙන සිය ගණනක් දේශපාලන ප්‍රශ්න ක්‍රිකට් පිටියට ඇද ගැනීම.

ඉන්දු පාකිස්තාන අර්බුදය දුරදිග යාමත් සමග තමයි මේ දේවල් පටන් ගන්නේ. 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරනවා. එයට විසඳුම විදිහට ඉන්දියාව ඩුබායි වල සියලුම තරග ක්‍රීඩා කළා.

පාකිස්තානයේ වේග පන්දු වලට හිතැති කඩුලු වල ක්‍රීඩා කරන්න සංචිත නිර්මාණය කරපු කණ්ඩායම් ඩුබායි වලට ගිහින් බඹරේ වගේ කැරකෙන විකට් වල ක්‍රීඩා කළා. තරගාවලියේ සම්පූර්ණ වාසිය ඉන්දියාව තමන් සතුකර ගත්තා. දිනුවා.

ඊළඟට දැන් පාකිස්තානයත් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරලා අවසන්. ඔවුන් 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලුම තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ. අමතක නොකළ යුතු කාරණය වෙන්නේ අර්බුද මැද්දේ වුණත් පාකිස්තානය 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය කළා.

ඔවුන් එහෙම කරන්නේ 2023 ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරපු මොහොතක.

දැන් ඉන්දියාව විසින් බංග්ලාදේශයේ හින්දු ප්‍රජාවට ගැටලුවක් වෙනවා කියලා මුස්ටාෆිසුර් රහමන් ව අයි පී එල් එකෙන් ඉවත් කළා. ඒක මුස්ටාෆිසුර්ගේවත් බංග්ලාදේශ ක්‍රිකට් වලටවත් අදාල ගැටලුවක් නෙමෙයි. ඒක රටේ දේශපාලන නැත්තන් සාමාජීය ගැටලුවක්.

නමුත් ඉන්දියාව කෙලින්ම මේ ගැටලුව අරගෙන එන්නෙත් ක්‍රිකට් පිටියට. ඇයි? ඔවුන්ට ක්‍රිකට් වල බලය උපරිමයෙන් තියෙනවා. ඒ නිසා ගැටලුවක් නෑ.

හැබැයි බංග්ලාදේශය කෙලින්ම මේකට විරුද්ධ වුණා. ඔවුන් අයි පී එල් තමන්ගේ රටේ විකාශය කිරීම නැවැත්තුවා. ඔවුන් 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව තුළ ක්‍රීඩා කරන්නේ නෑ කිව්වා.

ඉන්දියාවට පුළුවන් නම් තමන්ට ආරක්ෂාවක් නෑ කියලා හිතෙන රටවල් වල සංචාරය නොකරන්න, බංග්ලාදේශයටත් ඒක පුළුවන්. මොකද ඕක පටන් ගත්තේ බංග්ලාදේශයවත් පාකිස්තානයවත් නෙමෙයි. ඉන්දියාවම තමයි.

හැබැයි ඒකට බංග්ලාදේශයට ඉඩක් ලැබෙන්නේ නෑ. ඔවුන් ලෝක කුසලානයෙන් ඉවත් වෙනවා. ඇත්තටම එක රටක බලයකට යට වෙලා එයාලට ඕනි විදිහට ක්‍රීඩා කරනවාට වඩා තරගාවලියෙන් ඉවත් වීම කියන්නේ එකෙන්ම තද, කොන්ද කෙලින් තියන් ගත්ත තීරණයක්.

දැනටමත් ඒ ගැටලුව විතරක් නෙමෙයි පාකිස්තාන සම්භවයක් තියෙන වෙන රටවල ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට පවා ඉන්දියාවෙන් වීසා ලබාදීම ප්‍රමාද කරනවා.

පාකිස්තානයේ උපත ලැබුවේ නැති වුණත් උපතින්ම එංගලන්ත ජාතිකයන් වුණ ආදිල් රශීඩ් සහ රෙහාන් අහමඩ්ගේ වීසා පවා ප්‍රමාද කරවනවා. සිකන්දර් රාසාට වීසා නොලැබුණොත් සිම්බාබ්වේත් තරගාවලිය වර්ජනය කරාවි.

අමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයන්ට වීසා ලැබෙන්නේ නෑ. තව කණ්ඩායම් මේ වෙද්දී තමන්ගේ ඉන්න පාකිස්තාන සම්භවයන් සහිත ක්‍රීඩකයන්ට වීසා නොලැබීමේ ගැටලුවට මුහුණ දීලා ඉන්නවා.

ඉන්දියාව මේ ඔවුන් සතු බලය පෙන්වන්නේ. ක්‍රිකට් කියන්නේ එහෙම ඔවුන්ට අයිති, ඔවුන්ටම වෙන් වුණ බූදලයක් නෙමෙයි. ක්‍රීඩාවක් කියන්නේ දේශපාලන මඩ ගොහොරුවක් නෙමෙයි.

සාමාන්‍යයෙන් ක්‍රීඩාවකින් කරන්නේ දේශපාලනයෙන්, සාමාජීය වශයෙන් වෙන් වෙලා ඉන්න රටවල් පවා එකතු කරන එක. හැබැයි ඉන්දියාවේ 19 පහළ ක්‍රීඩකයොත් දැන් බංග්ලාදේශ තරගයේ අතට අත දීම ප්‍රතික්ෂේප කරනවා.

 

මේක විහිලුවක් වගේ නේද?

 

මෙතනදී එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ අනිත් බලවත් රටවල් කට වහන් ඉද්දීත් බංග්ලාදේශය කොන්ද කෙලින් තියාගෙන බය නැතුව වැඩ කරපු විදිහ නම් ඇත්තටම විශිෂ්ටයි.

ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පිටිය තුළ හැසිරීම්, ඔවුන් ක්‍රිකට් ගහන විදිහ ගැන මට අදටත් එහෙම ප්‍රසාදයක් නෑ. හැබැයි ඔවුන් මේ මොහොතේ ඇතිවුණ ප්‍රශ්නයට කෙලින් කතා කරපු විදිහ අගය කළ යුතුමයි.

උඹලගෙ විදිහට නම් ගහන්නේ ඕක උඹලම ගහපන්. අපිට ඕනිත් නෑ. අපි එන්නෙත් නෑ. තාම ඒ නිර්භීත තීරණය ගන්න පුළුවන් වුණේ බංග්ලාදේශයට විතරයි.

 

- ProSports -
Advertiesment